Tuesday, September 1, 2020

කළු අන්ධ ආකාසයේ
තරු හැංගිලා
සඳ වැහැරිලා
නුඹ  නැති නිසා
මා තනි වෙලා

ගිණි රස්න මංතීරුවේ
පා නොගැටිලා
පාළුව හමයි
නුඹ දුර නිසා
මා ඉමි බලා

තුරු නීල වන තීරයේ
ලිය වැල් හැලී
රුක් පෙති වැටී
නුඹ එන තුරා
නොපිපී හිදී...

 

Sunday, June 21, 2020


වර්චුවල් ලොවෙන්
බැස එන්න සඳවති…
මල් වදුල් පිපී
නෙත් සලයි සෙනෙහසේ
විහඟ සර සවන්
මියුලැසින් නුබ සිඹී

ඉන්ද්‍රචාපයේ
සායමින් වැසි
මන්දහාසයේ
රූපයන් දිලේ

එන්න මා ප්‍රියේ
ඇවිදින්න …
තථ්‍ය උද්‍යානයේ …


තරු වියන් සැදී
එළි පහන් මවයි සීතලේ
නිශාචර සුළං
කොඳුරමින් ගත වෙලී

අන්ධකාරයේ
කළුවරත් මැකේ
චාතුර්යයේ
දෑස් දල්වමින්

වර්චුවල් ලෝකයෙන්
මිදෙන්න සඳවති
විඳින්න ආදරේ
රියල් උද්‍යානයේ




Sunday, May 24, 2020

කැන්වස් කොලේ

මම ඇන්ඳ මගේ හීන
කැන්වස් කොලේ
මම දුන්නෙ මං ආල
ලියටයි ලයේ

ස්නේහෙන්
ආදරෙන්
නෙත් ඈර
නිදි නෑර
හිත ගාව
උන්නෙමි බලං
ඇය සරසන හැටී
මගේ කැන්වස් කොලේ

ඇය මැකුව, ඇය ඇන්ඳා
අලුතින් කොලේ
පැහැ ගන්වා සිත්තම් ලා
ඈ සිත් ලෙසේ

ස්නේහේ
දැහැනින්
බැදි දෑස
රෝමාන්ත
මත් වීලා
සැනහුනි සිතෙන්
ඇය සරනා සැටී
මගේ හදවත් පොතේ


Wednesday, May 6, 2020

ළාමකද මම ලියේ

විල් තෙරේ පීදුන මලේ
පරවයන්නේ කොහේ
අද එළිය දුටු මා හදේ
පුදන්නට දෙනු ආදරේ

සුවඳ නොසලා ලයේ
සැඟව යා යුතු නොවේ
නොවිදි පුසුඹෙහි රසේ
විදින්නට මට සිතේ


වියලි දෙතොලට වතේ
වසත් රූ සිරි මවා
අදින්නට මට සිතේ
නොදෙන්නේ කිම
අහිමි අවසර
ළාමකද මම ලියේ



Monday, May 4, 2020

පාලුව


කොහේදෝ සිට
නොසිතු මොහොතක
වියලි හදවෙත
ඇදී ආ
කුමරියේ……

කෙසේදෝ මගේ
සිඳුන මනසට
වැස්ස වැස්සුවේ
සිනා පාමින් 
රුවැතියේ……

කෙසේ කියමිද
පිපෙන මාහද
සැලෙන බව
නුඹ නොමැති
මොහොතට
මා ලඟින්
මගේ ප්‍රේමියේ...



Wednesday, April 29, 2020

රශෝමාන් දොරටුව ලඟට එනවද?

නාරී රූ පිරූ
ලලනාවියේ
ගත දුටු මොහොතේ
මගේ ලය බැඳුනේ...
විඳ ගන්නයි
ඔය පහස
මේ වනයේ දී
මා හරි පෙම්බරයි
දරදඬුයි

ආදරණීයම සොරදෙටුවා මමයි

සමුරායී
මා මෙන් ප්‍රේමවන්ත නෑ
මට මෙන් රාගී වෙන්න බෑ
නුබ ගත සරසවන්න බෑ
නුඹේ හිත සතපවන්නේ නෑ

සමුරායී
නුඹ නලවන්න දන්නේ නෑ
නිදහස දෙන්න එන්නේ නෑ
නුඹ වෙත ආලවන්ත නෑ
නුඹට ගැලපෙන්නේම නෑ

මතකද මා...
ටජිමාරෝ...
දරදඬු ආලවන්තයා
ඔබ සැනසූ....
විදින්න තව මොහොතක්
එනවද
රශෝමාන් දොරටුව ලඟටවත්

එනවද……?


Friday, April 24, 2020

හරි සීතලයි
තුරුළු වෙන්නට ආසයි
හැඟුම් අවදිව බලා ඉන්නෙත්
එනතුරා
ස්නේහයේ ලිය වැල් සරා

සඳ කැන් ගලා
ඔච්චම් කලා
තනි යහන
ඉඩ කඩ වැඩි නිසා

හරි කම්මැලියි
පෙම් පබදින්න ආසයි
වදන් ගුලි වී බලා ඉන්නෙත්
එනතුරා
නුරාබස් සිපගනු නියා


පවනැල් එතී
හිනැහී ගියා
තනි ලයට
උණුහුම මදි නිසා

හරි ලස්සනයි
ඇවිද යන්නට ආසයි
දෑත් විහිදා බලා ඉන්නෙත්
එනතුරා
යෞවනී හද සැරි සරා

තුරු මල් පිපි
ඉඟි බිඟි කලා
පිණි පලසේ
තනිවම ඇවිදින නිසා