Wednesday, September 25, 2013

සීත රැය මුව ලඟට ඇවිදින්
මියුරු පදවැල් පබදිමින්
නුඹ ඈත හිම මත සුසුම් වැල්
පා කරන හැටි ආදර සොවින්
මුමුණයි මගේ දෙසවන් අගින්

කොඳ මලක පෙති පිබිදෙන සැනින්
නුඹේ මිහිරි මතකයේ රොන් ගලයි
මගේ හදින් පිබිදුනු මල් මතින්
එන සුවඳ දැනුනිද නුඹට දැං

සඳ කැණැති ගලනා විට සෙමින්
නුඹේ උවනේ සිරි දිය මත ‍ඇදෙයි
සඳට පෙම් බැදි තරුවකින්
එන එළිය මුණ ගැසුනිද කියන්

ලෙලෙන තුරු දළු මදහසින්
නුඹ ලවන් මා සිත මත අදියි
මගේ ලයෙන් ගිලිහුනු නුරාවැල්
නුඹ සොයා ඒවී ඉක්මනින්


Saturday, May 25, 2013

දුමාරය

අඳුරු මාවතයි - සොඳුරු හීනයයි
පවන් මානයේ - ගතක් පියාඹයි
ඇසක් මැදියමේ - අතක් සොයන්නේ
මසක් ගණින්නට - හෙටක් සැහැල්ලුවේ
පහස විඳින්නයි

ගැහෙන දෙතොල් පෙති - සැලෙන හදවතින්
තවත් ලයක් මත - තුරුල ලබද්දි
හෙටක් සැහැල්ලුවේ - පහස විදින්නට
තවත් එකක් - රන් මසක් ගණින්නට

සිහින නිම්නයේ - පියඹා යන්නයි
වේදනාව - මිරිඟුවක පිහිටි සඳ
සිරුර පර කරන් - මසක් මිට අරන්
හෙටක් නැති කරන් - මායා ධූලි වලා
වෙලා පෙලා වත - මුලා වුනා නැඟණී
පෙම් බැඳි - මෝධක දුමාරයෙන්



Sunday, May 19, 2013

ආකාශයේ...

සුවඳ මල් ලඟ
සුවඳ නොදැනෙන
පාට මල් වල
පාට නොපෙනෙන
හමන සුළඟේ
පහස නොගැටෙන

ආකාශයක
තනි වෙද්දි
නොතනියට
මා ලඟින්
මට හිටියේ
මගේ හිත
නුඹමයි...